බත් දුන් පියා


මේ ඡායාරූපයේ සිටින්නේ උඩුකය නිරුවත්ව තොප්පියක් පැළද සිටින පුෂ්ටිමත් තැනැත්තා හිටපු අගමැති ඩඩ්ලි සේනානායකය. යටහත් පහත්ව තරමක් ඈතට වී ඔහු දෙස බලා සිටින හය දෙනා අයත් වන්නේ රටේ ගොවි ජනතාවයි. ඩඩ්ලි සේනානායකට ජනතාව කීවේ ඩඩ්ලි හාමු කියාය. මෙම ගොවියන්ගේ මුහුනු වලින් ඔවුන් විදින දුක් කම්⁣කටොලු මැනෙවින් පිළිඹිබු වෙයි.මේ ජනයා ඩඩ්ලිව සිව්වරක්ම අගමැති පුටුවේ වාඩි කලේ ඔවුන් අපේක්ෂා කරන සුබදායි ජීවිතය ඩඩ්ලි විසින් ඉටුකරනු ඇතැයි අපේක්ෂා කරමින් විය හැක, ඒ වගේම ඩඩ්ලිද විවිද අයුරින් මේ ජනයාහට ඔවුන්ගේ සමහර ප්‍රශ්න විසදීමට උත්සුක වු අතර සමහර ප්‍රශ්න යටයන්නද විය. 

ඩඩ්ලි සේනානායක නිතර නිතර ගමේ ගොඩේ මිනිසුන් ඇසුරෙහි සිටියේය. ඩඩ්ලි තැනට සුදුසු විදිහට සිටිමට දන්නා හොද පාලකයෙක් විදිහට අපට දැක්විය හැක. ගමට බැස්සාම,ගොවි ජනපදයට ගියාම ඉන්න ඕනැ සැටි ඔහු දනි. එය ඔහු ඉගෙනගන්නට ඇත්තේ ජාතියේ පියා මෙන්ම ඔහුගේද පියා වු හිටපු අගමැති ඩි.එස්. සේනානායකගෙනි. ඇඳගෙන පැමිනි බැනියම ගලවා දමා පැල්කොටයකට වී සිහිල් සුළං රැල්ලට පපුව අල්ලා සිගරැට්ටුවක් උරමින් ගොවි ජනයාගේ ප්‍රශ්නවලට සවන්දීම කෙතරම් නම් ප්‍රායෝගීක වන්නේද? එය ඇත්තටම භූමියේ දේශපාලනය නිරත වන මිනිසෙකුගේ සැබෑ ප්‍රතිරූපය වේ.

ඡායාරූපයට අනුව ඩඩ්ලි සිටින්නේ බඩට අත තියාගෙනය. අතීතයේ කොළඹ පළාතේ මැයි පෙලපාලි ගියේ "ඩඩ්ලිගේ බඩේ මසල වඩේ" යනුවෙන් සටන් පාඨ කියමිනි. මේ හමුවීම උඩරට පළාතේ විය හැකිය මොකද ගොවියන් කරට දමා ඇති තුවා සහ ඇද පැළද සිටින ඇදුම් නිසාවෙන්.

මෙහි හොදම දෙය වන්නේ වර්තමාන දේශපාලන තත්වය එදා දේශපාලනය තුල දක්නට නොවිය. හොදින් බලන්න ආරක්ෂකයන්, තුවක්කුකරුවන් නැතිව රාජ්‍ය නායකයෙක් මේ විදිහට නිවි සැනිසිල්ලේ තම ජනයා සමඟ මේ විදිහට සිටිමම පුදුමයට කරුණක් වන්නේය. මෙය අද පුදුමයට කරුණක් වුනත් එදා මෙය සාමාන්‍ය දෙයක් විය. ඒ වගේ ⁣ඩඩ්ලි වටේ වෙනත් ටයිකෝට් ඇඳගත් පරිවාර සෙනඟක්ද නැත. ඒ අනුව බලන විට එදා සිටි දේශපාලඥයන් කෙතරම් සරල මිනිසුන්ද.

1965 ආණ්ඩු සමයේ අගමැති ඩඩ්ලි කූපන් පොතට හාල් සේරුවක් නොමිලේ දුන්නේය. ඒ නිසාම ඩඩ්ලිට පටබැදුනු නම වන්නේ "බත් දුන් පියා" යනුවෙනි. 1973 අප්‍රේල් මස 13 වෙනිදා අලුත් අවුරුද්ද දවසේ ඩඩ්ලි සේනානායක අභාවප්‍රාප්ත වූ විට හඬා වැටුනු මිනිස්සු වැල නොකැඩි කොළඹ ආවෝය. ඔවුන් මියගිය නායකයාට දෑත් එක්කරමින් කීවේ බත් දුන් පියා බුදු වේවා කියා ය.

Post a Comment

0 Comments