ඩඩ්ලි සේනානායක මැතිතුමා සහභාගිවු අන්තිම මහජන රැලිය පැවැත්වුයේ රත්නපුරයේදීය.ඒ 1973 අප්‍රෙල් පළමුවැනිදාය.එතුමා සමග කොළඹට පැමිණි මා නිවසේ පඩිපෙළ ළග බස්සවා ගිය එතුමා සදාකල්හීම ආයුබෝවන් කී බව මම නොදනීමි.
අප්‍රෙල් 3 දා උදේ එතුමා රෝගාතුරව රෝහලට ඇතුලු වු බව ආරංචි විය.වෛද්‍ය ප්‍රතිකාර හැර කිසිවක් කළ හැකි නොවුවද,හිතවත්හු රෝහල වටා රොක්වූහ. රැස්වු පිරිස අතර වු හෙයින් අන්තිම මොහොත ගැන කිව හැකිව ඇත.
5 වෙනි දා උදේ එතුමා හමුවු විට “රැස්වීමේ වැඩ කල් දාන්න එපා.ඒවා කරගෙනම යන්නයි කීය. සනීප වෙලා ඒවාට ඉක්මනින් එන්න පුලුවන්..පත්‍රවල ආරංචි ගැන, විදේශ පුවත් ගැන විමසුවේය. “බනින එකම නොවැ පත්‍රවල බලන්න තියෙන්නෙ” කියා එතුමා නිහඬ විය.
අප්‍රෙල් 10 දා පාන්දරම හමු වු නියතපාල මහතා එදා පාන්දර තුනට නායකතුමාට උග්‍ර හෘදයාබාධක් ඇති වු බව කීවේය.වෛද්‍යවරුන්ගේ සේවය හැර කළ හැකි විශේෂයක් නොතිබුණද, එතුමාට සුව පතමින් හිතවත්හු එතැන් සිට රෝහල වටා එක්රැස්ව සිටියහ.
කොළඹ පෞද්ගලික රෝහලකදි සේනානායක මහතාට ප්‍රතිකාර කරනු ලැබුවේ විජේනායක,ආටිගල දොස්තරවරුන් විසිනි.හදිසියේ ලංකාවට පැමිණ සිට ඇමරිකානු හෘද විශේෂඥ දොස්තර මහතෙක්ද එතුමාට ප්‍රතිකාර කිරීම සදහා සහාය විය.
අපේ ආයුෂත් රැගෙන ජීවත් වෙන්න කියමින් රැස්වු පිරිස බොහෝය.වැඩිහිටි දුප්පත් ජනයා කුඩා ළමයින්මෙන් හඬා වැටෙනු දුටුවේය.එහෙත් 10 වෙනිදා දහවල් 12 වන විට රෝගය සුව අතට හැරුණේය.සවස් කාලයේදි කතාකළ හැකි තත්වයක සුවයක් ලැබීමෙන් කාටත් සැනසුමක් ලැබිණි.
11 වෙනිදා පුරාම එතුමාගේ සෞඛ්‍ය තත්වය යහපත් විය. ඕස්ට්‍රේලියාවේ තානාපතිතුමා විසින් එවන ලද ඇපල් යුෂ ටිකක් බී කතාබහට බැස්සේය.එතුමා වෙහෙස වීම වැළැක්වීම සඳහා පිළිසඳර සීමා කර තිබිණි.
12 වෙනිදා උදාවුයේය.පරණ අවුරුද්ද ගෙවි සේනානායක මහතා වෙනදා මෙන් සුවයෙන් ප්‍රිතියෙන් කාටත් කතා කළේය.දියර ආහාර වැඩියෙන් ගත්තේය.තැඹිලි වතුර හා ඇපල් යුෂ බීවේය.
12 වෙනිදා රාත්‍රි ඇමරිකානු දොස්තර මහතා නුවර ගොස් ආපසු පැමිණ රාත්‍රි ලංකාවෙන් පිටවන බව කියා එතුමාට සුබ පැතීය. ” මම අද නුවර ගොස් එනවිට ඔබේ දැදිගම කොට්ඨාසය ඔස්සේ ආවා.ඔබ හදපු ලස්සන රෝහලක් එහිදි දුටුවා.හරිම සැපදායක පළාතක් නොවැ, ඒ ඔබට සුවවීම ඒකාන්ත බවට මට විශ්වාසයි ” කියා ඇමරිකානු දොස්තර මහතා එතුමාලේ අත අල්ලාගෙන සුබ පැතුවේය.දැදිගම ගැන කියද්දි නායකතුමා මොකක්දෝ විහිලුවක් කියමින් සිනාසිණි.
රාත්‍රියේ සිය අහස් යාත්‍රාව පමා වු නිසා ඇමරිකානු දොස්තර මහතා යළිත් පැමිණ සතුටු සාමිචියෙන් හිඳ සුබපතා ලංකාවෙන් ගියේය.එදා රාත්‍රි නිදාගත්තේ සුවයෙනි.සුවසේ එලිවන සමයේ පාන්දර 2 පමණ පිබිදි, “දැන් එලිවෙලා නේද? තේ කෝප්පය බොන්න කට සෝදා ගන්න වතුර ටිකක් ගේන්න ” යනුවෙන් සිය පෞද්ගලික ලේකම් ගුණතිලක මහතාට කීවේය. ” නැ සර් තවමත් එලිවුනේ නැහැ.වෙලාව දෙකයි ” කී පසු යළි නින්දට ගියේය.
13 වෙනිදා අලුත් අවුරුද්ද දවස උදාවුයේය.එහෙත් ඒ තීරණාත්මක දවසක් බව දැනගෙන සිටියේ ටික දෙනෙකි.
සුවපත් දවසක මෙන් උදේ රැවුල කපාගන්න ඕනෑ කියමින්,ප්‍රිතියෙන් හා සුවයෙන් පිබිදුනු සේනානායක මහතා දුටු කාටත් සැනසුමක් ඇති විය. ඩඩ්ලිට තරමක් සුවයි යනුවෙන් පුවත්පත්වල පළවු ආරංචිය නිසි රට පුරාද සැනසුමක් ඇතිවිය.එහෙත් අපට ඒත්තු වී ගියේ කිසියම් ලක්ෂණ නිසා රෝහලෙන් ඉවත නොයෑමට අපි තීරණය කළෙමු. 13 වෙනිදා දවල් කාලයේදි හදිසි වෙනසක් පෙණිනි.සේනානායක මහතා අවිවේකිවිණි. බෙල්ල උරහිස අතගා රිදෙන තැන් පෙන්වුයේය. “මගේ උරහිස් ඇටය කුඩා කාලයේ දෙවරක්ම කැඩි තියෙනවා.ඒ නිසාද දන්නෙ නැහැ ” කියමින් සැනසි නින්දට ගියේය.පත්‍රවල ආරංචි මොනවාදැයි ඇසීය.එතුමා බලන්නට පැමිනි අය ගැන විමසීය.සවස ඇපල් කැබලි ස්වල්පයක් කෑවේය.එහෙත් ආහාර අරුචිය පෙන්විය.අවිවේකය හා මළ ශරීර වේදනා ස්භාවය පෙන්විය.මේ සියල්ල මැඩගෙන දෙඇසින් වැගිරෙන සිනහවෙන් දුටුවන් දෙස බැලුවේය.කතා කළේය.
අලුත් අවුරුදු දා ඇදිරි වැටෙන වෙලාව රැස් වු කාගෙත් සිත්වල විශාල බියක් මතුවෙමින් තිබිණි.බොහෝ දෙනා සුවය ගැන මිස බිය ගැන කතා කලේ නැත.බෙල්ලන්විල පන්සලට ගිය නියතපාල මහතා හදිසියේ දුවගෙන විත් ” සුරි මම ඉස්පිරිතාලෙට ඇවිත් නතර වුනා විතරයි.ජිප් එකේ රෝද දෙකක හුළං ගියා ” කියමින් හැඬිමට පටන්ගත්තේය.එහෙත් රාත්‍රි 8 හමාරට ගුණයක් පෙනුනෙන් රැස්වු අය විසිර ගියහ.
අපි නායකතුමාගේ කාමරයෙන් පිට වාඩිවි නිහඬව සිටියෙමු.රාත්‍රි නවයහමාරට ලේකම් ගුණතිලක මහතා පිටතට පැමිණ බියදෙන ආරංචියක් කරුණාසේන කොඩිතුවක්කු සහ කොත්මලේ රණතුංග යන දෙදෙනාට කීවේය.ඩඩ්ලි සේනානායක මහතා නවයයි තිහට නැගිට උරහිස මඳක් ඔසවා, සාත්තු සේවිකා ජුලියට් අක්බාර් මේට්‍රන් අමතා ” අද මට ලොකු පියවරක් ගන්න තියෙනවා ” කියා සිංහලෙන්ම පවසා යලි නින්දට ගිය බවයි.
රාත්‍රි 7 හමාරට පමණ එතුමාගෙ ඇඳ අසල මුලු රාත්‍රියම ගතකල හිටපු අධිකරණ ඇමති විජේමාන්න මහතා කාමරයෙන් එළියට ඇවිත් නියතපාල මහතා සහ මා පසෙකට කැඳවා “අද තත්වය ගැන කවුරු මොනවා කිවත් මට නම් එතරම් සැනසිලිදායක නැහැයි ” කීවේය. ඔහු එතැන් පටන් සේනානායක මහතාගේ ඇඳළග වාඩි වි නොකඩවාම අතේ නාඬි වැටීම හා ලේ පීඩනය බලමින් සිටියේය.
රාත්‍රි 9 තිහ පසුවිය.”මට අද ලොකු පියවරක් ගන්න තියෙනවා ” යනුවෙන් නායකතුමා කී කතාව කාගෙත් සිත් කළඹනසුලු විය.රාත්‍රි 10 ට පමණ විජේනායක, ඇන්තනිස් දොස්තර මහත්වරු බොහෝ වේලා රෝග තත්වය පරික්ෂා කර බලා පිටත්ව ගියහ.රාත්‍රි බෙහෙත් බි නායකතුමා නින්දට ගියා පමණි.දැන් දොස්තර මහත්වරු පිටවී ගොස් විනාඩි 10 පමණ ගත වි ඇත.ඇඳ ළග වාඩි සිටි දොස්තර විජේමාන්න මහතා එළියට දුවවිත් නායකතුමාට තදින්ම අවිවේකයි.වහාම දොස්තරලා කැඳවන්න ඕනෑ ” කියා ටෙලිෆෝනය වෙත දිව ගියේය.
මොහොතකින් කාමරය කරා මේට්‍රන්වරු,නේවාසික දොස්තරලා පිරුණහ.නායකතුමා ඇස්හැර වේදනාව මිශ්‍ර මඳ සිනහවක් දක්වා තැන්පත් විණි. යලි රාත්‍රි 11 ට පමණ පිබිදි ඇස් හැර ” මට නැගිටින්න ඉඩ දෙන්න. ඔක්කොම එකතු කරගන්න.මට නැගිටින්න ඕනෑ ” කියමින් ඇඳ මත වඩීවිමට සැරිසිනි.දොස්තර විජේමාන්න හිමිහිට එතුමා කොට්ට මත සැතප්ප විය.පාදය දෙසට අත දිගුකර ඒවා පිරිමදින ලෙසද එතුමා ඉඟි කළේය.පපුව මත වේදනාවෙන් සිය අත තබා ගත්තේය.තදින් හා ඉතා අමාරුවෙන් හුස්ම ගන්නවා බැලෙන් කාටත් හැඩුනේය.නියතපාල අතක් පිරිමදිමින් හඬා වැටුනේය.සිරිපාල පාදුක්ක හා මම දෙපය පිරිමදිමින් සිටියෙමු.නර්ස්වරු ඉන්ජැක්සන් ගැසීමට නහරයක් සෙවුවද ඒවා මේ වනවිටත් මතුකර ගත නොහැකි විය.දැන් හුස්ම ගැනීම පහසු කරවීම සඳහා පපුව පිරිමදින ලදි සේලයින් දීම විධිමත් කෙරිනි.
රාත්‍රි 11 වන විට දොස්තර පැමින අවසානය.දොස්තර විජේමාන්න මහතා වහාම කටට කට තබා කෘතිම හුස්ම දෙන ලෙස නියම කළේය.තත්පරයකින් දෙකකින් නායකතුමාගේ ප්‍රාණය ඇති බව පෙනිණි.
ඒ මොහොතකට පමණි. මේ යෝධ පුරුෂයා ජාතියේ නායකයා ඉතා අමාරුවෙන් තද හුස්මක් ගෙන අවසන් හුස්ම හෙළුවේය.වෙලාව රාත්‍රි 11.12 යි.අප අල්ලාගෙන සිටි දෙපයේ තද ගතිය හදිස්සියේ නැති වි ගොස් අප්‍රානික විය.මුලු කාමරයම හෙණගෙඩි සියයක් පිපිරුවාක් මෙන් බීරාන්ත විය.නායකයාගේ තවමත් සිරුර අතේ තිබියදීම ” මේ මරණයද ජීවිතයද ” කියා සිතිණි.දොස්තර මහතෙක් ටෝච් එක දල්වා නායකතුමාගේ කළු ඉංගිරියාව පරික්ෂා කර දෙඇස් වැසුවේය.
දෙපය එක් කර මුහුණ සකස් කරන ලදි.දරා ගන්න බැරිම තැන අවසන්වරට නළලට අත තබා උණුසුම් හිසට ආචාර කර මම තනියම එළියෙන් අදුරට පා නඟා ආවෙමි
- ඡායාරූප අන්තර්ජාලයෙන් -
[ ජේ.ආර්.පී.සූරියප්පෙරුම සූරින්ගේ මතක සටහනක් ඇසුරින් වංශනාථ විජේසිංහ මහතා මව්බිමට ලියන ලද ලිපියකි ]


0 Comments