ජාතික නිදහස අත්හැරීම

Abandonment of national independence

පෙබරවාරි 4 වැනිදා ශ්‍රී ලංකාව 71 වැනි නිදහස් දිනය සමරයි. මෙවර නිදහස් දිනයේ විශේෂත්වයක් තිබේ. එනම් මෙතෙක් පැවැත්වූ ජාතික නිදහස් දිනය යන්නෙන් 'නිදහස' යන්න ඉවත් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ.

රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා නිල වශයෙන් ප්‍රකාශ කළේ ජාතික නිදහස් දිනය යන්නෙන් 'නිදහස' ඉවත් කිරීමට ආණ්ඩුව තීරණය කළ බවය.

ඇමැතිවරයා පෙන්වා දෙන්නේ 1978 වර්ෂයේ සම්මත කරනු ලැබූ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අංක 8 දරන ඡේදයට අනුව පෙබරවාරි 4 ශ්‍රී ලංකාවේ ජාතික දිනය වශයෙන් නම් කර ඇති බැවින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුරූපව ආණ්ඩුව මෙම තීරණය ගනු ලැබූ බවය. ඒ අනුව පෙනී යන වැදගත් කරුණක් වන්නේ පසුගිය අවුරුදු 41ක් තිස්සේ අප සමරා තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේද සඳහන් නොවූ ඊනියා ජාතික නිදහස් දිනයකි.

අප තවත් දිනකින් සමරන්නේ ජාතික නිදහස් දිනය නොව ජාතික දිනය බව සිහිකටයුතුය. පාසල් දරුවන් මෙයින් ඉදිරියට රචනා ලිවිය යුත්තේ නිදහස් දිනය ගැන නොව ජාතික දිනය ගැනය.

සියලු සත්ත්වයෝ නිදහසට ඇලුම් කරති. ආදරය කරති. නිදහස වූ කලී කිසිවකු රිදී බන්දේසියක් මත තබා ප්‍රදානය කරන්නක් නොවේ. සටන් කොට දිනාගත යුතු ධර්මතාවකි. 1948දී ලේ බිඳකුදු නොසොල්වා අපි නිදහස ලබා ගත්තෙමු යැයි උදම් ඇනුවද 1818දී සහ 1848 දී පමණක් නොව ඉන් පසුවද නිදහස වෙනුවෙන් සටන් වැදුණු උදාර දූ පුතුන්ගේ ලෙයින් ශ්‍රී ලංකා ධරණී තලය තෙත් වී තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කෙසේ සඳහන් වුවත් පෙබරවාරි 4 ජාතික නිදහස් දිනය වශයෙන් නම් නොකොට ජාතික දිනය වශයෙන් නම් කිරීමට ආණ්ඩුව ගත් තීරණය නම් ඉතාමත් කාලෝචිත බුද්ධිමත් තීරණයකි. එය එසේ වන්නේ ගෙවුණු වසර 70 තුළ අපේ රට හා ජනතාව කිසිම ආකාරයක නිදහසකට හිමිකම් නොකියන තැනකට භෞතික වශයෙන් ඇද වැටී ඇති නිසාය.

වර්තමාන ශ්‍රී ලංකාව සමාජ, ආර්ථික හා දේශපාලන කිසිම ක්‍ෂේත්‍රයකින් නිදහසක් නැති අන්ධකාර සිරගෙයකි. 1948දී සුද්දා අපට භාරදී ගියේ ණය නැති රටකි. රට පුරා විහිද ගිය මහා මාර්ග පද්ධතියක්ද, එංගලන්තයේ තරම්ම දියුණු දිවයිනේ සිවුකොන් යා කළ දුම්රිය මාර්ග පද්ධතියක්ද එහි විය. කොළඹ නගරයේ වීදි මෙන්ම ට්‍රෑම් කාර් ජාලයේද වැඩ නිමා වී තිබිණි. පේරාදෙණිය හා කොළඹ විශ්වවිද්‍යාලද, වෛද්‍ය විද්‍යාලයද, නීති විද්‍යාලද, තැපෑල, අධිකරණය හා පරිපාලන ක්‍රමයද ඊට අයත් විය. වනෝද්‍යාන වෙන්කොට, පුරාවිද්‍යා ආඥාපනත සම්මත කොට නීති පනවා ජාතික කෞතුකාගාරයක්ද තනාදී තිබිණි. අක්කර දහස් ගණනක වැවිලි ආර්ථිකයක්ද, වරාය හා ගුවන් තොටුපොළද විය. දේශප්‍රේමීන් කෝපයට පත්විය හැකි නමුත් ඇත්ත ඒකය.

සුද්දා අපේ කළු සුද්දන්ට භාර දුන්නේ වර්ග කිලෝමීටර් 65,610ක ඒකීය ශ්‍රී ලංකාවකි. අද රටේ වර්ග කිලෝමීටර් දහස් ගණනක අයිතිකරුවන් වන්නේ බහුජාතික සමාගම්ය. කොළඹ නගරයේම ගත්තත් හෙක්ටයාර් සිය ගණනක අයිතිකරුවන් වන්නේ චීන්නුය. රටේම ඉඩම් හෙක්ටයාර් දහස් ගණනක සින්නක්කර අයිතිකාරයා චීනයයි.

රටේ ආර්ථිකය හසුරුවන්නේ චීන ෂැංහයි එක්සිම් බැංකු හැරුණු විට ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ආසියානු බැංකුවය. සෑම පුරවැසියකුම මේ වන විට බිලියනයක ණයකාරයෙකි. අධිරාජ්‍යවාදයට එරෙහිව දින නියමයක් නැති අරගලයක නිරතව සිටින දේශප්‍රේමී කළු සුද්දන් වසර 70ක් රටට කර ඇති හරිය කියන්නට තවත් කරුණු අවශ්‍ය නැත.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මාසික වැටුප ලක්ෂ 10 බැගින් ගන්නා ලොක්කෝ 190ක් සිටිති. වතු කම්කරුවන්ට දෛනික වැටුප රුපියල් 1000ක් දෙන්නට සල්ලි නැත. තරුණ පරම්පරාවේ ලක්ෂයක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ය. එච්.අයි.වී. ඒඩ්ස් ඇතුළු සෑම වසංගතයක්ම රටට දායාද කර දී ඇත. මිලියන, බිලියන ගණන් මහජන දේපොළ සොරා කන පාලකයන්ට නඩු නැත. උසාවි නැත. සිරගෙවල් නැත. රට කරවන ඇත්තන්ට ලංකාව කේතුමතී රාජධානියකි. ඉදින් ජාතික නිදහස් දිනය යන්නෙන් 'නිදහස' අත්හැරීම පමා වී නමුත් ගත් ඥානාන්විත තීරණයකි. නැති නිදහසක් ගැන පාරම් බෑමේ කිසිදු තේරුමක්ද නැත.

Post a Comment

0 Comments