වලව් වතගොත - පළමු කොටස


රජු ජීවත්වන නිවස "මාලිගය" බව කුඩා දරුවෙකු පවා දන්නා කාරණයකි.ක්ෂත්‍රීයයන් ප්‍රධාන අනෙකුත් සෑම නිවසක්ම හැදින්වුයේ 'ගෙදර' යනුවෙන් වන අතර ගෙහිමියාගේ තනතුරට අනුව ඒ ගෙදරට තවත් විශේෂණ පදයක් එක්වන බවත් ඒ අනුව වෛද්‍යවරයාගේ නිවස "වෙදගෙදර" යනුවෙන්ද කුඹල් කර්මාන්තකාරයාගේ ගෙදර "කුඹල්ගෙදර" යනුවෙන්ද රජකයාගේ ගෙදර "රදා ගෙදර",  බලි ඇඳුරගේ ගෙදර  "බලිතියන්නලා ගේ ගෙදර" නමින්ද එකි මෙකි විවිධ තනතුරු දැරූ උදවිය පදිංචිව විසූ නිවාස උසස් පහත් භේදයෙන් තොරව ගෙදර යනුවෙන් ඈත අතීතයේ හෙළ රජ දවස හැදින්වු බැව් ' කන්ද උඩරට සමාජ සංවිධානය ' ග්‍රන්ථය කියයි.

ක්‍රි.ව. 1739 දි අප රට තුල ආරම්භ වූ දකුණු ඉන්දියානු නායක්කාර රාජ්‍ය පාලනය යුගයේ දී ප්‍රභූන් පදිංචි නිවාස 'වලව්' යනුවෙන්ද හැදින්වූ අතර එය තෙළිගු බසින් ශබ්ද වූවකැයි ' ශ්‍රි ලංකා දීප වර්ණනා ' ග්‍රන්ථයේ සදහන් වේ.

පුරාණ රදලවරුන් නඩු ඇසීමට බලතල තිබුණ අතර ඔවුන් එම කටයුතු තම නිවසේ සිටම සිදුකල බැවින් ' වලවුම් ' යනුවෙන් ඒ නිවෙස්වලට භාවිතා කළ බවත් ' වලකු ' යනුවෙන් නඩුවට ද්‍රවිඩ බසින් භාවිත වන බවත් ' කන්ද උඩරට සමාජ සංවිධාන ' ග්‍රන්ථය සදහන් කරයි.

මාවනැල්ලේ ගල්අතර ගමේ පිහිටි 'ලෙව්කේ වලව්ව' අධ්‍යයනය කරපු  එච්.සී.පී බෙල් පැවසුවේ 'වලව්ව එතරම් පෙනුම ඇති ගොඩනැගිල්ලක් නොවේ ' කියාය.ඔහු එම නිගමනයට ආවේ එක වලව්වක් පමනක් නිරික්ෂනය කිරීමෙන් බව කිව හැකිය.ඔහු 1892 සිය වාර්ථාවල ලෙව්කේ වලව්ව ගැන කියා ඇත්තේ " මැටි ගැසු වරිච්චි බිත්ති හා කොකු උළු සෙවිලි කළ වහලක් ඇති, ගෙබිම ගොම මැටි ගා තිබෙන ලෙසය" 

එච්.සී.පී. බෙල්ගේ සමහර වාර්ථා හුදෙක් හරියාකාරව නිරික්ෂනයට බදුන් නොවි ඇති බව ප්‍රත්‍යක්ෂ වී හමාරය. අඩුම තරමේ ගාල්ල දිස්ත්‍රික්කයේ අහංගම කතළුවෙ පිහිටි අටදාහේ වත්තේ වලව්ව, ඒ දිස්ත්‍රික්කයේම පිහිටි වැලිතොට මහා කප්පින වලව්ව, රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටි ' මඩුවන්වල වලව්ව' ආදි වලව් රජ මැදුරුවලට පමනක් දෙවැනි වූ බැවූ බෙල්ට නොපෙනීම පුදුමයකි. 

ක්‍රි.ව.1734 දි වලව් සංඛ්‍යාව වැඩි වු නමුත් ක්‍රි.ව.1510 දි පමණ අප රට තුල වලව් කිහිපයක් තිබුණ බවට සාක්ෂි ඇත. ඇහැළේපොල පරපුරේ ආදී පුරුෂයා වූ දොන් කොස්මො විජේසේකර යුද්ධ මුදලි තුමා ජනිත වු වැලිතොට ' බ්‍රාහ්මණ වත්තේ වලව්ව' ක්‍රි.ව. 1500 ගණන්වල ආරම්භ වු එක් වලව්වකි. ද්‍රවිඩ හා තෙලිගු වචන පුරාණ සිංහල රජ යුගයේ සට ව්‍යවහර වු බව අපට මේ වලව්වේ නමින් සිතිය හැක. අටදාහේ වත්ත වලව්ව ක්‍රි.ව.1630 දි පමන ඉදිකර බවට සාක්ෂි ඇත.

15 වැනි සියවසේ සිට සිංහල රජ පවුලට හා පොදුවේ මුළු මහත් රාජ්‍යයටම දකුණු ඉන්දීයානු බලපෑම සංස්කෘතික වශයෙන් ක්‍රියාත්මක වු බැව් මේ අනුව සිතිය හැක.( දකුණු ඉන්දීය බලපෑම ඉදිරි ලිපිවලින් බලාපොරොත්තු වන්න.)

ඉංග්‍රීසි බසින් 'VILLA' වචනයෙන්  'වලව්ව' සැදුනු බව එක්තරා මතයක්ව පවතී. නමුත් ඉංග්‍රීසින් ලංකාවට පැමිණෙන විටත් ලංකාව තුල ' වලව්' තිබුනි.

වලව් නමින් හැදින්වෙන ප්‍රභූ නිවාස තුළ පළමුව ජීවත් වුවේ ක්ෂත්‍රීය බ්‍රාහ්මණ සහ ගොවි කුලයේ ඉහලම ශ්‍රේණියේ රදලවරු පමනකි. පසු කලෙක මේ ක්ෂත්‍රීය හා බ්‍රාහ්මණ කුලීනයන්ද ගොවි කුලයේ ඉහලම ශ්‍රේණියටද ඇතුලවත් වීමේ ප්‍රතිපලයක් වශයෙන් වර්තමානය තුල ප්‍රබල රදල පිරිසක් බිහි විය. මුලු රටේම ජනගහනයෙන් 52% ක් නියෝජනය වන්නෙ වත්මන් ගොවි කුලයට බැවින් එහි ඉහළම තලයේ සිටින රදලවරුන්ට අදෘශ්‍යමාන ශක්තියක් ඇති බැව් සමාජ විද්‍යා පර්යේෂණවලින් පෙනි ඇත.

ලංකාව තුල කිසිදු කුලයකට සම්බන්ධ නොවි සිටින බ්‍රාහ්මණ පවුල් කිහිපයක් ද ඇත. බෞද්ධ බ්‍රාහ්මණයින් සහ හින්දු බ්‍රාහ්මණයින් ලෙස ඔවුන් දිවි ගෙවයි. ඔවුන්ගේ ජනගහනය ඉතාමත් සීමිත පිරිසකි.

ක්ෂත්‍රීය, බ්‍රාහ්මණ සහ ගොවි වාංශිකයින් හැර වෙනත් කිසිදු කුලකයක පුද්ගලයෙක් වෙසෙන නිවසක් වලව්වක් ලෙස හැදින්වීමට ජනතාව තුල ඇත්තේ ඉමහත් අප්‍රසාදයකි. වලව්ව යනු කුලීන ප්‍රභූවරයෙකු ගේ වාස භවනය බැව් මේ අනුව සිතා ගත හැකිය.

මෙහි දෙවන කොටස ඉදිරියට බලාපොරොත්තු වන්න.

Post a Comment

0 Comments