1936 දි ශ්‍රි ලංකාවේ දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභාව වෙනුවෙන් මැතිවරනයක් පැවැත්විය. එවකට මෙරට තිබු මන්ත්‍රී ආසන සංඛ්‍යාව 50 කි. පලමු රාජ්‍ය මන්ත්‍රණ සභාව සදහා නියෝජිතයන් තෝරා පත් කර එවීමට ඡන්ද දායකයින් හත්ලක්ෂ අට දහසක් සුදුසුකම් ලබා සිටියත්, දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරනය වෙනුවෙන් ඡන්ද දායකයින් ලක්ෂ 21 ලියාපදිංචි වී සිටියහ. මහජන චන්දයෙන් තේරි පත් වු මන්ත්‍රිවරු 1936 මාර්තු 16 වැනිදා රාජ්‍ය මන්ත්‍රනන සභාවෙදි මුල්වරට රැස්වුයේ ශ්‍රිමත් වෛතිලිංගම් දොරේසාමි මහතාගෙ සභාපතිත්වයෙනි.
චන්දයෙන් තේරී පත්වු මන්ත්‍රීවරුන් අතරින් 5 දෙනෙකුටත් ආණ්ඩුකාරවරයා විසින් රාජ්‍ය සභාවට පත් කල මන්ත්‍රීවරුන් අතරින් 3 දෙනෙකුටත් එරෙහිව අල්ලස් චෝදනා එල්ල වීම දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභාවෙ සිදුවු සුවිශේෂම සිදුවීමයි. මෙම මන්ත්‍රීවරුන් අල්ලස් ගත් බවට ඔප්පු වී ඇතැයි අනාවරණය වන්නෙ 1943 අප්‍රෙල් 3 වෙනිදා රාජ නීතිඥ එල්.එම්.ඩී. ද සිල්වා මහතා ආණ්ඩුකාරවරයා වෙත භාරදුන් අල්ලස් කොමිෂන් සභා වාර්තාව මගීනි.
චෝදනා එල්ල වු මන්ත්‍රීවරුන් මෙසේය. කළුතර මන්ත්‍රි චාල්ස් බටුවන්තුඩාව, නුවරඑළිය මන්ත්‍රී ඊ.ඩබ්ලිව්. අබේගුණසේකර, බණ්ඩාරවෙල මන්ත්‍රී ඩී.ඩී. ගුණසේකර, බළන්ගොඩ මන්ත්‍රී එච්.ඒ. ගුණසේකර, ත්‍රිකුණාමලය - මඩකළපුව මන්ත්‍රී ඊ.ආර්. තම්බිමුත්තු වේ.
ආණ්ඩුකාරවරයා විසින් පත් කල මන්ත්‍රීවරුන් වු එච්.ඊ. නිවුන්හැම්, එච්.එෆ්. පාර්පිට්, ඊ.සී.විලියර්ස් වේ.
බණ්ඩාරවෙල මන්ත්‍රී ඩී.ඩී. ගුණසේකර මහතාට එල්ල වු චොදනාව වන්නෙ නෙල්සන් නමැති බස් යෝජනා ක්‍රමය වෙනුවෙන් බස් රථ අයිතිකරුවන් දෙදෙනෙකුගෙන් රුපියල් 25 ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවයි. මන්ත්‍රීවරයා නිතරම අල්ලස් ගන්නා අයෙකු බව පෙනි යන බවද ඉහත චෝදනා ඔප්පු වී යැයි අල්ලස් කොමිෂන් සභාවෙන් නිගමනය කර ඇත. එකල වතු අයිති ඉංග්‍රීසි ජාතිකයන්ගේ බල පරක්‍රමය බිඳ හෙළමින් හා හිටපු සුදු ජාතික මන්ත්‍රී පැලෝස් ගෝඩන් වැඩි චන්ද 9372 කින් පරාජයට පත් කරමින් බණ්ඩාරවෙල ආසනය දිනාගත්ත ද ඩී.ඩී. ගුණසේකර මන්ත්‍රීවරයාට රුපියල් 25ක් හේතුවෙන් සිය ධුරය හැර යන්නට සිදුවීම කිසිවෙකු බලාපොරොත්තු වුවක් නොවිය.
කළුතර මන්ත්‍රී චාල්ස් බටුවන්තුඩාව මහතාට එල්ල වුයේ අරක්කු රේන්දකරුවන් ගෙන් රුපියල් 2000 ක ලබා ගැනිමේ චෝදනාවයි. එයද ඔප්පු වී යැයි එම වාර්තාවේ සදහන්.
ත්‍රිකුණාමලය - මඩකළපුව මහජන මන්ත්‍රී ඊ.ආර්. තම්බිමුත්තු මහතාත් බළන්ගොඩ මහජන මන්ත්‍රී එච්.ඒ.ගුණසේකර මහතාත් නැගෙනහිර මාතලේ ප්‍රදේශයේ "රටේ මහත්තයා" තනතුරට එල්.බි. අත්තනායක නැමැත්තෙකු පත් කිරිම සදහා මුදලින් අල්ලස් ගත් බවට වු චෝදනාව ද ඔප්පු වී යැයි රාජ්‍ය නීතිඥ ඇල්.ඇම්.ඩී. ද සිල්වා මහතා සිය වාර්තාවේ සදහන් කර ඇත. තම්බිමුත්තු මහතා ගත් මුදල රුපියල් 250 ද 750 ද යන්න පැහැදිලි නැති බවත් එහි සදහන් ය.
නුවරඑළිය මන්ත්‍රී ඊ.ඩබ්ලිව්.අබේගුණසේකර මහතා රුපියල් 500 අල්ලසක් ගත් බව ඔප්පු වී යැයි ද ඔහු අන් මන්ත්‍රීවරුන්ට අල්ලස් දීමට මඟ පෑදු මුලිකයා බව හෙළිවුයේ යැයි ද අල්ලස් කොමිෂන් සභා වාර්තාවේ සදහන් කර තිබේ.
ආණ්ඩුකාරවරයා විසින් පත් කළ සුදු ජාතික මන්ත්‍රීවරුන් තිදෙනාට එරෙහි අල්ලස් චෝදනා මීට වඩා වෙනස්ය. එනමුත් "අල්ලස්" යන වචනයෙහි අදහස අනුව ඔවුන් තිදෙනාට එරෙහි චෝදනලාවලටද ඔවුහු වරදකරුවන් කරනු ලැබූහ.
එච්.ඊ. නිවුන්හැම් මහතාට එල්ල වුයේ යුරෝපිය වෙළද සංගමයේ අදහස් විධායක මණ්ඩලය ඉදිරියේ පැවසීමට එම සංගමයෙන් මුදල් ලබා ගැනීමයි. ඒ සදහා නිවුන්හැම් මහතාට මසකට රුපියල් 2000 ද එ මහතාගෙ ලේකම්වරයෙකුට මසකට රුපියල් 200 ද ගෙවා තිබෙන බව ඔප්පු විය. එහෙයෙින් ඉහත කාරණයම " අල්ලස් ගැනීම" යැයි පැවසීමට ප්‍රමානවත් බව කොමිසමෙන් කියවිණි.
ඊ.සි. විලියර්ස් මන්ත්‍රීවරයාට ලංකාවේ වැවිලි කරුවන්ගෙ සංගමයෙන් මසකට රුපියල් 2000 බැගින් ගෙවා ඇති බව හෙළිවිය. ඒවා ත්‍යාග මුදල් ලෙස හදුන්වා ඇති අතර ඒවා පිළිගෙන ඇත්තෙ එම සංගමයේ අදහස් රාජ්‍ය මන්ත්‍රණ සභාව සහ විධායක මණ්ඩලය ඉදිරියේ තබා ඒවා ක්‍රියාත්මක කරවා ගැනීම සදහා බව අනාවරණය කෙරිණි.
ශ්‍රිමත් ඩි.බි. ජයතිලක මහතා සභාපතිත්වය දැරූ ස්වදේශ කටයුතු පිළිබද විධායක කාරක සභාවෙ සභිකයෙකු වු එච්.එෆ්.පාර්පිට් මහතා ලංකාවේ ඉඩම් හිමියන්ගෙ සංගමයේ ලේකම්වරයා වශයෙන් සහ රාජ්‍ය මන්ත්‍රණ සබාවේ නියෝජිතයා වශයෙන් මසකට රුපියල් 2000 බැගින් ලබාගෙන තිබෙන බව කොමිසම හමුවේ අනාවරණය වී තිබේ. ඒ මහතා එවකට සිමාසහිත මැක්වුඩ් සමාගමේ අධ්‍යක්ෂවරයා ද විය.
මේ කාරන " අල්ලස් ගැනිම" යන අර්ථකථනයට ප්‍රමාණවත්ය යනුවෙන් රාජ්‍ය නිතීඥ ඇල්.එම්.ඩි. ද සිල්වි මහතාගෙ වාර්තාවේ සදහන් වීම හේතුවෙන් ඉහත මන්ත්‍රීවරුන් අට දෙනාටම සිය මන්ත්‍රී ධුර හැර යන්නට සිදුවිය. රාජ්‍ය මන්ත්‍රණ සභාවෙ සිටියදි තමා කරන සේවයක් සම්බන්දයෙන් අල්ලස් දීම, ගැනිම හෝ ඉල්ලීම ඔප්පු වුවහොත් එකී මන්ත්‍රීවරයා ධුරයෙන් පහ කර දැමීමට හැකි පනතක් දැවැනි රාජ්‍ය මන්ත්‍රණ සභාවේදි ඉන් පසුව සභා සම්මත කර ගැනිණි.

0 Comments